Friday, June 10, 2011

විඥනවාදී භෞතිකවාදියෝ

බටහිර විද්‍යාවේ පියා ලෙස සැලකෙන ගැලීලියෝ විද්වතා ඒ ඒ නිරීක්‍ෂකයාට නිරීක්‍ෂණය කළ හැකි ඊනියා පෞද්ගලික පරීක්‍ෂණ ක්‍රමය ඉදිරිපත් කළේ යෑයි කිව ද ඔහු කර ඇත්තේ චිත්ත පරීක්‍ෂණ ඉදිරිපත් කිරීම බව අපි සඳහන් කළෙමු. බටහිර විද්‍යාවේ දාර්ශනිකයන් කෙසේ කීව ද නිරීක්‍ෂණ මත පදනම් වී නිගමනවලට එළඹී තිබුණේ ඇරිස්‌ටෝටලීය පද්ධතියෙහි ය. අපේ එදිනෙදා නිරීක්‍ෂණය පිහාටුවට වඩා ඉක්‌මනින් පොල් ගෙඩිය බිමට වැටෙන බව ය. එවැනි නිරීක්‍ෂණ මත පදනම් වී සාධාරණීකරණයෙහි ප්‍රතිඵලයක්‌ ලෙස බරින් වැඩි වස්‌තුව බරින් අඩු වස්‌තුවට වඩා ඉක්‌මනින් පොළොවට වැටෙන බව ඇරිස්‌ටෝටලීය පද්ධතියෙහි සඳහන් වී තිබිණි.

එසේ නම් ගැලීලියෝ විද්වතා කර ඇත්තේ එදිනෙදා සාමාන්‍ය නිරීක්‍ෂණයට පිටින් යැමකි. ඔහුට පෙන්වීමට වුවමනා වූයේ රික්‌තයක වස්‌තු එක ම ත්වරණයකින් පහතට වැටෙන බව ය. එහෙත් ඔහු ඒ බව කිසි දිනෙක නො පෙන්වී ය. ඒ වෙනුවට වියුක්‌ත රික්‌තයක වස්‌තු වැටීම පිළිබඳව ඔහු කරුණු ඒත්තු ගැන්වී ය. ඉන්පසු බටහිර භෞතික විද්‍යාවේ එසේ එක්‌ එක්‌ පුද්ගලයාට ඇති වන අත්දැකීම්, එසේත් නැත හොත් ඒ ඒ පුද්ගලයා ගේ නිරීක්‍ෂණ සියලු පුද්ගලයන්ට එක ම ආකාරයෙන් වේ යෑයි උපකල්පනය කරමින් සාධාරණව (in general) නිරීක්‍ෂකයා නිරීක්‍ෂණය කරන කරුණු ගැන සඳහන් කෙරිණි.

ඉන්පසු එසේ සියලු ම නිරීක්‍ෂකයන්ට එක ලෙස නිරීක්‍ෂණය වන්නේ නම් නිරීක්‍ෂකයන් නැති ව වුව ද ඒ සංසිද්ධි ඇති වන්නේ ය යන්න උපකල්පනය කෙරිණි. උදාහරණයක්‌ ලෙස ගත හොත් සියලු නිරීක්‍ෂකයන්ට සාපේක්‍ෂව වස්‌තු ඒකාකාර ත්වරණයකින් පොළොවට වැටෙන්නේ නම් නිරීක්‍ෂකයන් නැති ව වුව ද වස්‌තු ඒකාකාර ව පොළොවට වැටෙන්නේ ය යන්න උපකල්පනය කෙරී එය ඊනියා සත්‍යයක්‌ බවට පත් විණි. ඒ සමඟ වාස්‌තවික යථාර්ථය (Objective reality) බටහිර විද්‍යාවට, මුල දී බටහිර භෞතික විද්‍යාවට, එකතු විණි.

නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ලෝකයේ විවිධ සංසිද්ධි ඇති වන බවත් ඒ සංසිද්ධි ද නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත වූ නියම අනුව සිදු වන බවත් නිව්ටෝනීය චලිත නියම හා ගුරුත්වාකර්ෂ නියමයෙහි පසුබිමෙහි විය. විවිධ වස්‌තු නිරීක්‍ෂකයන් ඇතත් නැතත් ඒකාකාර ත්වරණයකින් පොළොවට ඇද වැටීම ගැලීලියෝ විද්වතා ගේ නිරීක්‍ෂණවලින් සාධාරණය (generalize) කෙරුණකි. වස්‌තු එසේ ඇද වැටෙන්නේ විශ්වයේ සියලු අංශු එකිනෙක එක්‌තරා නියමයකට අනුව ආකර්ෂණය වීම නිසා යෑයි නිව්ටන් විද්වතා තම චලිත නියම හා ගුරුත්වාකර්ෂණ නියමය යොදා ගනිමින් පෙන්නුම් කළේ ය.

චලිත නියම මෙන් ම ගුරුත්වාකර්ෂණ නියමය ද පසුව බටහිර විද්‍යාවට එකතු වූ විවිධ නියමවල පුරෝගාමී කාර්යය ඉටු කළේ ය. එයින් කියෑවුණේ නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්‌තු (අංශු) එක ම ආකාරයකින් (යම් ගණිත ප්‍රකාශනයකට යටත් ව) ආකර්ෂණය කරන බවත් වස්‌තු බාහිර බල යටතේ එක ම ආකාරයෙන් යම් ත්වරණයකින් චලනය වන බවත් ය. නිව්ටන් ගැලීලියෝ ආදීන් ඇතත් නැතත් වස්‌තු එසේ චලනය වන බව උපකල්පනය කෙරිණි. නිව්ටෝනීය නියමයට අනුව එක්‌ අංශුවක්‌ අනෙක්‌ වස්‌තු විසින් ආකර්ෂණය කෙරෙයි. නිරීක්‍ෂකයන් නැති වත් කෙරෙන ආකර්ෂණය බටහිර භෞතික විද්‍යාවට අනුව වාස්‌තවික නියමයක ප්‍රතිඵලයක්‌ වෙයි.

සියලු වස්‌තු (අංශු) සඳහා එසේ නියම ඉදිරිපත් කෙරුණේ සාධාරණව ය. එහෙත් විශ්වයේ ඇති සියලු අංශු සඳහා එවැනි පරීක්‍ෂණ නිරීක්‍ෂණ කළ අයකු නැත. මෙහි දී සිදු වන්නේ අංශු කිහිපයක්‌ සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ හා පරීක්‍ෂණ හා ඊනියා නියම සාධාරණීකරණයට ලක්‌ කිරීම ය. ඒ සාධාරණයට ලක්‌ කිරීමට ඒ ඒ වස්‌තු එකිනෙක නිරීක්‍ෂණය කළ යුතු නො වේ. අංශු කිහිපයක්‌ නිරීක්‍ෂණය කිරීම ප්‍රමාණවත් වෙයි. මේ සාධාරණීකරණය අභ්‍යqහනය (induction) නමින් ද හැඳින්විය හැකි ය. අභ්‍යqහනයෙන් ලබාගන්නේ නිරපේක්‍ෂ සාධාරණත්වයකි. එක්‌ අංශුවක්‌ සම්බන්ධයෙන් කෙරෙන නිරීක්‍ෂණ ඒ ඒ නිරීක්‍ෂකයා ගෙන් ස්‌වායත්ත වෙයි. ඒ නිරපේක්‍ෂත්වය ය.

අනෙක්‌ අතට බටහිර භෞතික විද්‍යාවට අනුව සියලු වස්‌තු එක ම ආකාරයෙන් චලනය වෙයි. එහි දී වස්‌තුව පොල් ගෙඩියක්‌ වුවත් යකඩ බෝලයක්‌ වුවත් එක ම ගුරුත්වාකර්ෂණ නියමයට යටත් වෙයි. එමෙන් ම එක ම චලිත නියම යටතේ චලනය වෙයි. නිරීක්‍ෂකයා කවුරුන් වුවත් නිරීක්‍ෂකයන් ඇතත් නැතත් වස්‌තු ඊනියා වාස්‌තවික නියමවලට යටත් වෙයි. මෙය බටහිර විද්‍යාවේ දක්‌නට ලැබෙන ඊනියා විශ්වීය (Universal) නියමයකි. පොල් ගෙඩි, දෙල් ගෙඩි පමණක්‌ නො ව සූර්යයා හා ග්‍රහ වස්‌තු ද මන්දාකිණි ද මේ නියමයට යටත් වන්නේ යෑයි නිව්ටෝනීය භෞතික විද්‍යාවෙහි ඉගැන්වෙයි.

මේ කිසිවක්‌ ඊනියා පර්යේෂණවල හෝ නිරීක්‍ෂණවල හෝ ප්‍රතිඵල නො වන බව අමුතුවෙන් කිව යුතු නො වේ. බටහිර භෞතික විද්‍යාව ඇතුළු බටහිර විද්‍යා ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයක්‌ ගැන අවධාරණය කළ ද ඊනියා වාස්‌තවිකත්වය හා නිරපේක්‍ෂත්වය එවැනි පර්යේෂණාත්මක ක්‍රමවලින් ලබාගත හැක්‌කක්‌ නො වේ. කිසිවකුට විශ්වයේ (ලෝකයේ) සිටින සියලු නිරීක්‍ෂකයන් අරභයා ඒ සියල්ලන් ම එක ම ආකාරයෙන් ඒ ඒ සංසිද්ධි නිරීක්‍ෂණය කරන්නේ දැයි නිරීක්‍ෂණයෙන් හෝ පර්යේෂණයෙන් හෝ දැනගත හැකි නො වේ. එසේ දැනගත්තත් කලින් සිටි නිරීක්‍ෂකයන් හා ඉපදීමට සිටින නිරීක්‍ෂකයන් සම්බන්ධයෙන් එසේ කරන්නේ කෙසේ ද? එමෙන් ම කලින් පැවැති වස්‌තු හා අනාගතයේ දී ඇති වන වස්‌තු සම්බන්ධයෙන් එවැනි පරීක්‍ෂණ හා නිරීක්‍ෂණ කරන්නේ කෙසේ ද?

වාස්‌තවිකත්වය හා නිරපේක්‍ෂත්වය හුදු උපකල්පන පමණක්‌ වෙයි. ඊනියා අභ්‍යqහනය එහි දී යොදා ගැනෙන විධි ක්‍රමය යෑයි කියනු ලැබෙයි. අභ්‍යqහනය නම් ගාම්භීර නමකින් හැඳින්වුව ද එයින් කියෑවෙන්නේ වස්‌තු කිහිපයකට නිරීක්‍ෂකයන් කිහිප දෙනකුට ගැලපෙන යම් යම් ලක්‍ෂණ මුළු මහත් විශ්වයට ම ගැලපෙන බව ය. මෙය ගණිත අභ්‍යqහනයෙන් (Mathematical
Induction) ලබාගත හැකි වූවක්‌ ද නො වේ. අනෙක්‌ අතට ගණිත අභ්‍යqහනය පියානෝ ගේ ස්‌වසිද්ධි හෙවත් ප්‍රත්‍යක්‍ෂ (axioms) මත පදනම් වෙයි. මේ ස්‌වසිද්ධි ගණිතයේ අනෙක්‌ ස්‌වසිද්ධි මෙන් ම ඊනියා පර්යේෂණාත්මක ක්‍රමයකින් ලබාගත් ප්‍රතිඵල නො වේ. ඒවා හුදෙක්‌ වියුක්‌ත උපකල්පන පමණක්‌ වෙයි. මුළු මහත් ගණිතය ම පදනම් වන්නේ එවැනි ස්‌වසිද්ධි හා ඇරිස්‌ටෝටලීය න්‍යාය (logic) මත ය. හැකි නම් නිරපේක්‍ෂකත්වය, වාස්‌තවිකත්වය හුදු පරීක්‍ෂණයෙන් හෝ නිරීක්‍ෂණයෙන් හෝ සම්පරීක්‍ෂණයෙන් හෝ පෙන්වන මෙන් අභියෝග කරමි.

වියුක්‌ත චින්තනය බටහිර විද්‍යාවට නැති ව ම බැරි ය. වියුක්‌තය ඊනියා පුද්ගල බද්ධ පරීක්‍ෂණාත්මක ක්‍රමයට පටහැනි වෙයි. වියුක්‌ත චින්තනයෙහි දී පංෙච්න්ද්‍රිය ගෝචර ලක්‍ෂණ බැහැර කෙරෙයි. ගැලීලියෝ විද්වතාට පීසා නුවර ඇල වන කුලුන වටා රික්‌තයක්‌ නිර්මාණය කිරීමට අවශ්‍ය නො වී ය. ඔහු කීවේ රික්‌තයක්‌ සිතෙන් මවා ගැනීමට ය. ඔහු ගේ ඊනියා පරීක්‍ෂණයේ පංෙච්න්ද්‍රියන්ට ගෝචර රික්‌තයක්‌ නො වී ය. එහෙත් රික්‌තයක්‌ නොමැති ව වස්‌තු වැටීම පිළිබඳ පරීක්‍ෂණයක්‌ ද නො වී ය.

අනෙක්‌ අතට වස්‌තුව යනු කුමක්‌ ද? වස්‌තුව යන්න ම වියුක්‌ත සංකල්පයකි. වියුක්‌ත සංකල්ප පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වේ. ගැලීලියෝ විද්වතාට අවශ්‍ය වූයේ යකඩ බෝල අතහැරිය ද, ඇපල් ගෙඩි අතහැරිය ද, අශ්වයන් දෙදෙනකු අතහැරිය ද, ඒ සැම අවස්‌ථාවක දී ම ඒ සියල්ල එක ම ත්වරණයකින් පොළොවට ඇද වැටෙන බව පෙන්වීම ය. එසේ එක ම ත්වරණයකින් ඇද වැටීමේ ගුණය ඒ ඒ ද්‍රව්‍ය මත ර¹ නො පවතින බව ද ඔහු ගේ කෙසේ වෙතත් පසුව පැමිණි බටහිර භෞතික විද්‍යාඥයන් ගේ අදහස (උපකල්පනය) විය. ඇපල් ගෙඩියේ වර්ණය හෝ යකඩ බෝලයේ තද බව හෝ වෙනත් ගුණයක්‌ හෝ අත්හරිනු ලැබූ ගෙඩියේ හෝ බෝලයේ හෝ ත්වරණය තීරණය කිරීමේ දී වැදගත් නො වේ. එබැවින් අපට පැහැයක්‌ නැති ඇපල් ගෙඩියක්‌ පමණක්‌ නො ව අහවල් ගෙඩිය යෑයි කිව නො හැකි ගෙඩියක්‌ හෝ කකුල් ඇති නැති ඕනෑ ම සතකු හෝ වෙනත් දෙයක්‌ හෝ මෙහි දී යොදාගත හැකි ය.

වස්‌තුවක්‌ යනු අතිශයින් ම වියුක්‌ත සංකල්පයකි. එය කිසිසේත් ම පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වේ. එපමණක්‌ නො ව එය සිතෙන් මවාගැනීමට ද නො හැකි ය. කලින් අපේ ප්‍රවාදවල සඳහන් කර ඇති ආකාරයට අපට දෙල් ගෙඩියක්‌ හෝ කෙසෙල් ගෙඩියක්‌ හෝ සිතෙන් මවාගත හැකි වුවත් ගෙඩියක්‌ සිතෙන් මවාගත නො හැකි ය. එය සරල රේඛාවක්‌ වැනි සිතෙන් මවාගත නො හැකි වූවකි. ගෙඩිය, ගස, සිවුපාවා ආදිය සිතෙන් මවාගත නො හැකි සංකල්ප වෙයි. වස්‌තුව යන්න ඒ සියල්ලටත් වඩා වියුක්‌ත වූ සංකල්පයකි. එයට හේතුව ගෙඩිය, ගස, සිවුපාවා ආදී මේ ඕනෑ ම සංකල්පයක්‌ වස්‌තුවක්‌ විය හැකි බැවිනි.

බටහිර භෞතික විද්‍යාව පමණක්‌ නො ව මුළු මහත් බටහිර දැනුම් පද්ධතිය ම ඊනියා වාස්‌තවිකත්වය මත ර¹ පවතියි. එහෙත් වාස්‌තවිකත්වය යන්න පංෙච්න්ද්‍රියන්ට ගෝචර නො වනවා පමණක්‌ නො ව සිතෙන් ද මවාගත නො හැකි සංකල්පයකි. එයින් අදහස්‌ කෙරෙන්නේ ඒ පිළිබඳ කිසිවක්‌ සිතෙහි පහළ නො වන බව නො වේ. වාස්‌තවික්‌තවය යනු සිතෙහි ඇති වන සංකල්පයකි. එය පංෙච්න්ද්‍රියන් ගෙන් සංජානනය කළ නො හැකි සංකල්පයකි. එපමණක්‌ නො ව එහි රූපයක්‌, ගඳක්‌, සුවඳක්‌, හැඩයක්‌, රසයක්‌, ශබ්දයක්‌, තද බවක්‌, මොළොක්‌ බවක්‌ ගැන සිතෙහි මවාගත නො හැකි ය එය යුදෙව්වන් ගේ වියුක්‌ත යෙහෝවා දෙවියන් වහන්සේ මෙනි. ඒ දෙවියන් වහන්සේ ගේ පිළිමයක්‌ වත් ඇඹීම යුදෙව් ආගමේ තහනම් කෙරී ඇත.

බටහිර භෞතික විද්‍යාවේ ප්‍රමුඛ බටහිර විද්‍යාවේ පමණක්‌ නො ව ඊනියා භෞතිකවාදී හෙවත් ද්‍රව්‍යවාදී (materialistic) දර්ශනවල ද පදනමේ ඇත්තේ ඊනියා වාස්‌තවිකත්වය වැනි කිසිසේත් ම භෞතිකවාදී නො වන මතිමතාන්තර ය. වස්‌තුව යන්න සිතෙහි ඇති සංකල්පයක්‌ පමණක්‌ වන විට වාස්‌තවිකත්වයක්‌ ගැන මැත දොඩවන භෞතිකවාදීන් ගැන අප කළ යුත්තේ කුමක්‌ ද? තම පඬි බවෙන් උදම් වී භෞතිකවාදී පඬි කතා කියන පඬියන්ට අනුකම්පා කිරීම හැර කළ යුතු අන් දෙයක්‌ ඇතැයි නො සිතමි. භෞතිකවාදී පඬියන්ට අනුව නම් භෞතිකවාදී නො වන සංකල්ප ගැන කතා කරන්නෝ විඥනවාදියෝ ය. එසේත් නැත්නම් පාර භෞතිකවාදියෝ ය. ඒ අරුතින් ගත් කල ඊනියා වාස්‌තවිකත්වයක්‌ ගැන කතා කරන භෞතිකවාදයෝ ද විඥනවාදියෝ වෙති.

මහාචාර්ය නලින් ද සිල්වා


 

 


 
 

No comments:

Post a Comment