Saturday, July 2, 2011

මෑත කාලයේ සඟ සසුනේ වූ වාදවිවාද

සංඝ ශාසනය ඇති වූ සමාරම්භක අවස්‌ථාවේ සිටම භික්‍ෂූන් වහන්සේ අතර ඇති වූ යම් යම් ප්‍රතිවිරුද්ධ අදහස්‌ නිසා මත බේද ඇති වූ බවත් එකල්හි බුදුන් වහන්සේ සංඝයාට ඒ පිළිබඳ කරුණු වටහා දීම නිසා එම මතභේද නිරාකරණය වූ අයුරුත් බෞද්ධ සාහිත්‍යයේ දක්‌නට ලැබේ. බුදුන් වහන්සේගේ පිරිනිවන් පෑමෙන් පසුව මෙසේ ඇති වූ පරස්‌පර විරෝධී මත සමනයකර සත්‍ය හෙළිදරව් කිරීම සිදුවූයේ දැනුමැති උගත් සංඝයා රැස්‌වී සංගායනා පැවැත්වීමෙනි. ලංකාවේ ඒ සම්බන්ධව 12 වැනි සියවසේ මහ පැරකුම්බා කතිකාවත උදාහරණය. මෙය ගල් විහාරයේ ශිලා ලිපියක්‌ වශයෙන් කොට ඇත. පුරාණ මහා විහාරය අභගිරිය අතරද මෙවැනි ප්‍රතිවිරුද්ධ මතවාද ඇතිවිය. මහා විහාරිකයන් ඇත්දළ මිට සහිත විජිනිපත් භාවිතය, දත්මැද තැන තැන කෙළ ගැසීමාදියත් වැනි තවත් කරුණු ගැන අභයගිරිකයන් විරුද්ධ මත පළකර ඇත. 19 - 20 සියවස්‌වලදී ද ලංකාවේ මෙවැනි කරුණු සම්බන්ධව වාදවිවාද ඇති වී ඒවා මුද්‍රිත මාධ්‍ය මඟින්ද ප්‍රකාශයට පත්ව ඇත. එහෙත් මේවායේ විශේෂත්වය වන්නේ ඒ සියල්ල ධර්මය පිළිබඳ මතවාද නොව භික්‍ෂු විනය පිළිබඳ වීමය.

බංකුවාදය නම් වූ විවාදය 1900 ගණන්වල මුල් භාගයේදී ඇති වූයේ ඊට පෙර විහාරස්‌ථානවලට දහම් ඇසීම සඳහා පැමිණුන බැතිමතුන් බිම එලූ පැදුරක හිඳගෙන ධර්ම ශ්‍රවණය කිරීම සිරිතක්‌ වූවත් බටහිර සංස්‌කෘතිය පැතිරීමත් සමඟ යුරෝපීය ඇඳුම හැඳගත් මධ්‍යම පාන්තික පිරිස්‌ බිම හිඳගැනීමෙන් වැළකී පුටු හෝ බංකු මත හිඳගෙන දහම් ඇසීමය. මේ පිළිබඳව පක්‍ෂව මෙන්ම විපක්‍ෂව කරුණු ඉදිරිපත් වී ඇති අතර ඒ සම්බන්ධව පොත පතද ලියෑවිණි. 1910 දී මොරටුවේ මේධානන්ද හිමියන් විසින් ධම්මසාරවදීපනී නමින්ද එම වර්ෂයේදීම බුරුම ජාතික ෂ්‍යාඩෝ හිමියන් විසින් ගාරවාහාරවචිනිච්ඡය නමින්ද උස්‌ පුටුවල හිඳගෙන බණ ඇසීමට විරුද්ධව අදහස්‌ ප්‍රකාශ කර ඇත. ඒ අදහස්‌ වලට විරුද්ධව පිළිතුරු වශයෙන් කවිධජ කවිරාජ නමැත්තෙක්‌ බංකුවාද විභංගය පොත ලිවීය.

තවත් ප්‍රසිද්ධ වාදයක්‌ වූයේ පාරුපන වාදයයි. මෙය 1888 - 1898 කාලයේදී පැවතුන අතර මේ සම්බන්ධ ලිපි ගණනාවක්‌ම සමකාලීන සඟරාවලද පළවිය. භික්‍ෂූන් වහන්සේ විසින් සිවුරු පෙරවිය යුත්තේ එක්‌ උරහිසක්‌ වසාද (ඒකාංශපාරුපනය) නැතහොත් දෙඋර වසාද (උභයාංශ පාරුපනය) යන මාතෘකාව මෙයට විෂය විය. ආරම්භයේ රාමඤ්ඤ හා සියම් නිකාය දෙක අතර මෙම වාදය පැවතුනත් පසුව ඊට අමරපුර නිකායද එක්‌ වීය. උතුරු ඉන්දියාවේ පැරැණි බුදුපිළිමවල බුදුන් වහන්සේ දෙඋර වසා චීවර පෙරවීම දක්‌නට ඇත. මේ අනුව 1900 දී රාමාඤ්ඤ නිකායෙන් පාරුපනවත නම් ග්‍රන්ථය පළකළ අතර සියම් නිකායේ කොග්ගල Æණාලෝක හිමි ඒකාංශ චීවර පෙරවීම අනුමත කරමින් පාරුපනපාළි ග්‍රන්ථය ලියමින් අඳනය චීවරයට වඩා දිග් විය යුතු බවද දැක්‌වීය. කෝදාගොඩ Æණාලෝක හිමි පාරුපන සික්‌ඛා නමැති ග්‍රන්ථයද අතුරලියේ සුමංගල හිමි පුරාණ පාරුපනවත හා අති පුරාණ පාරුපනවත නම් ග්‍රන්ථ ලිවීය. අවසානයේ සියම් නිකායේ හික්‌කඩුවේ සුමංගල හිමියන්ගේ පාර්ශ්වය විෙද්‍යාදය පිරිවෙන මුල්කොට උභය පාරුපනය පිළිගෙන ඒ අනුව චීවර පෙරවීම කළහ. එසේම රාමඤ්ඤ හා අමරපුර නිකායන්ද උභය පාරුපනය අනුගමනය කළහ.

18 - 19 වැනි සියවස්‌ වලදී ඇති වූ සීමා සංකර වාද බෙහෙවින් ප්‍රසිද්ධිය. භික්‍ෂූන් වහන්සේ උපසම්පදා කිරීම සඳහා යොදාගන්නා සීමාව ලකුණු කිරීම හා බැඳ ගැනීම පිළිබඳ ශාසනික ඉතිහාසයේ බොහෝ විස්‌තර සඳහන්ය. ගොඩබිම සාදාගන්නා සීමාව (දැනට පොහොය ගෙවල්) බද්ධ සීමා වශයෙන්ද ජලාශයක සාදාගන්නා සීමාව උදකුක්‌ෙ€ප සීමාව යනුවෙන්ද හැඳින්වේ. සංඝරාජ වැලිවිට සරණංකර සංඝරාජ සමයේදී මල්වතු විහාර භික්‍ෂූන් සිය පොහොය සීමාව ඉඩ මදි නිසා එය විශාල කළේ සීමා ගල්වල මුල දක්‌වා අගල් කපා සීමා ගල නොගලවා අවශ්‍ය තරම් දුරට ඇදගෙන යැමෙනි. ඒ මන්ද සීමා ගල ගැලවුව හොත් සීමාව අවලංගුවන නිසාය. එහෙත් මෙහිදී අස්‌ගිරිවාසී භික්‍ෂූන් මල්වත්තේ උපෝෂථ සීමාව සංකර වී ඇති බවට චෝදනා කිරීමෙන් වාදයක්‌ ඇති වීය. මෙය වැළැක්‌වීමට උපදෙස්‌ දුන් සරණංකර සංඝරාජ ගැන රසවත් කථා පුවතක්‌ද ඇත. සංඝරාජ හිමියන්ගේ එක්‌ ඇසක්‌ නරක්‌ වී තිබිණි. මෙම ආරවුල විසඳීමේදී දෙපාර්ශ්වය කැඳවූ නාහිමියන් අස්‌ගිරියත් මල්වත්තත් දෙකම මගේ ඇස්‌ දෙක වාගේ ආදී ප්‍රකාශ කරන විට අස්‌ගිරි පාර්ශ්වයේ භික්‍ෂුවක්‌ මල්වත්තේ පංසල ඔබ වහන්සේගේ කොයි ඇස වගේදැයි ප්‍රශ්න කළේ ලු. අමරපුර නිකාය ඇතිවීමෙන් පසු අභිනවයෙන් පැවිදි වූ පිරිස්‌ බොහෝ වූයෙන් බලපිටියේ මාදුගඟේ සෑදූ සීමා මාලකයට යැමට ලෑලි පාලමක්‌ යෙදීය. සියලු භික්‍ෂූන් එහි ඇතුළු වීමෙන් පසු සීමා මාලකය හා ගොඩබිම අතර සම්බන්ධය නැති කිරීම සඳහා පාලමේ සීමාමාලකයට සම්බන්ධවන කොටසේ පාලමක්‌ වැනි වූ ලෑලි ඉවත් කළේය. 1845 දී සිදුවූ උපසම්පදාවේදී සීමාව ලකුණු කරගත්තේ ගඟේ ජලය ගෙන මාලකය වටා විසිකිරීමෙනි. 1851 දී අමරපුර නිකායේ තවත් පාර්ශ්වයක උගත් භික්‍ෂුවක්‌ වූ ලංකාගොඩ ධීරානන්ද හිමි මෙම සීමාව වැරැදි බව (සංකර වී ඇති බව) පවසා එහි උපසම්පදා වූ සියලු දෙනාගේ උපසම්පදාව වලංගු නැතැයි ප්‍රකාශ කළේය. උන් වහන්සේ දැක්‌වූයේ වීසිකළ ජලය පාලමේ වැදීම නිසා මාලකය ගොඩබිම හා සම්බන්ධවූ බවකි. ඒ අනුව ඒ සියලු දෙනාට නැවත උපසම්පදා වීමට බල කෙරුණු අතර නැවත උපසම්පදාවේදී උපසම්පදා වර්ෂ ගණන් ගැනීම අනුව පෙර ජ්‍යෙෂ්ඨයන්ව සිටි අය කනිෂ්ඨයන් බවට පත්වීමත් ඒ අනුව නව ජ්‍යෙෂ්ඨයන්ට නමස්‌කර කිරීම ඔවුන්ට සිදුවීමත් නිසා මහත් අවුලක්‌ සිදුවුණි. 1857 දී ධීරානන්ද හිමි බුරුමයේ සංඝරාජ හිමිට මේ පිළිබඳ විස්‌තර ලියවිල්ලක්‌ යෑවූ අතර උන්වහන්සේ සීමා විවාද විනිච්ඡය කථා නමින් ලේඛනයක්‌ ලියා එවීය. ඊට විරුද්ධ වූ අමරපුර මූලවංශික නිකායේ ප්‍රධාන අඹගහපිටියේ විමලසාර හිමි සීමා ලක්‌ඛනදීපනී නම් පොත ලිවීය. මෙම වාදය දැඩිසේ පැවතුන අතර සමහර වාදයන් සඳහා පොලිස්‌ ආරක්‍ෂාව දීමටත් අධිකරණයට යැමටත් සිදුවී ඇත. මෙම වාදය වැළැක්‌වීමට බුරුමයෙන් එවූ ජාගර හිමියන් විසින් ලංකා ශාසන විසුද්ධි කථා නම් පොත ලිවීය. විමලසාර හිමියන්ගේ සීමා ලක්‌ඛනදීපනියට විරුද්ධව අමරපුර සද්ධම්මවංශික නිකායේ එවකට නායක රන්දොඹේ ධම්මාලංකාර හිමි සීමා නව දප්පන ග්‍රන්ථය ලිවීය. මෙම වාදය වසර 20 ක්‌ පමණ පැවැතුණ අතර ඒ සම්බන්ධ ලිපි ලේඛන රාශියක්‌ පලවිය. අවසානයේ කාණ්‌ඩ දෙක අනුනිකාය දෙකක්‌ වශයෙන් බෙදී ගියේය.

සංඝයා වහන්සේට දානය දීම පිළිබඳව ද මේ ආකාරයෙන්ම වාදයක්‌ ඇති විය. ඒ දානය දිය යුත්තේ කුමන ආකාරයේ සංඝයාටද යන්න මුල්කොටගෙනය. මේ වාදය නිසා 1886 දී දුස්‌සීල දාන විනිච්ඡය, 1889 දී සංඝ භත්ත විවාද විභේදනිය නමින්ද ග්‍රන්ථ පළවිය. බුව. 2440 පානදුරේ ඤාණවිමල තිස්‌ස හිමි සංඝ භත්ත විභාජනිය නමින් පොතක්‌ පළ කළේය. 1895 දී අන්ද්‍රියෙස්‌ අප්පුහාමි නමැත්තෙක්‌ මේ මාතෘකාව මත දුස්‌සීල මර්දනය නමින් පොතක්‌ ලියා ඇත. 1900 දී දුස්‌සීල සරණාගමනාදී විනිච්ඡය නම් ග්‍රන්ථය පළවී ඇත.

කතරගම දෙවි, පත්තිනි ආදී දෙවිදේවතාවුන්ට විහාරවල දේවස්‌ථාන සෑදීම හා ඇදහීම ගැන ඊට විරුද්ධව රාමාඤ්ඤ නිකායෙන් ප්‍රකාශයෙන් කිරීම හේතුවෙන් ඇති වූ වාදය මත 1898 දී උඩුගම්පොල ධර්ම කීර්ති හිමි විසින් බුද්ධලබ්ධි විසෝදනියද 1904 දී තොටගමුවේ පඤ්Æමෝලිතිස්‌ස විසින් සදාචාර විභාවනිය ද ලිවීය. 1895 දී මෙම වාදයට සම්බන්ධ වෙමින් එස්‌. එල්. පෙරේරා නමැත්තෙක්‌ රාමඤ්Æවාද භංගය පොත පළ කළේය. ඒ අතර සියම් නිකාය විවේචනය කරමින් අමරපුර නිකායේ භික්‍ෂුවක්‌ ම්‍රම්මවංස විනිශ්චය පොත ලියා ඇත. ඊට පිළිතුරු වශයෙන් සියම් නිකායික භික්‍ෂුවක්‌ විසින් ශ්‍යාමනිකාය දීපනියද 1902 දී තොටගමුවේ පඤ්Æතිස්‌ස විසින් රාමඤ්ඤ දුර්මත විදාරණිය ද ලිවීය. වර්තමානයේ පවා රාමඤ්ඤ නිකායේ විහාරස්‌ථානවල දේවාල අඩුවී ඇත්තේ මේ නිසාය.

තෙරුවන් වැඳීමේ ක්‍රමය පිළිබඳව මෙවැනිම විවාදයක්‌ ඇතිවීම නිසා 1899 දී කතළුවේ ධම්මරංසි හිමි විසින් කතළුවේ නමස්‌කාරවාදය ග්‍රන්ථය ලියා පළකළේය. ඊට පෙර 1889 දී දොඩන්දුවේ සරණජෝති හිමි නමස්‌කාරවාද විදාරණිය ලිවීය. 1924 දී සුධීරානන්දතිස්‌ස නම් හිමි නමක්‌ නමස්‌කාරදීපනිය ලිවීය.

පිරිත් කීම පිළිබඳවද මෙවැනිම වාදයක්‌ ඇති වීය. ඒ නිසා 1907 දී ඒ. ජී. ඒ. පෙරේරා නමැත්තෙක්‌ පරිත්තවාද විනිච්ඡයො ග්‍රන්ථයද 1909 දී කේ. ඩී. ඩයස්‌ නමැත්තෙක්‌ පරිත්තවාද විනෝදනී වර්ණනාවද 1910 දී ඒ. ඒ. ඒ. පෙරේරා විසින් පර්ත්තවාද භේචයද ලියා ඇත. මේ ආකාරයෙන්ම අධිමාස පිළිබඳවද වාදයක්‌ ඇතිවීය. ඉහත කී අයුරින් විශේෂයෙන් පසුගිය ශතවර්ෂ දෙක තුළ මෙවැනි වාද ගණනාවක්‌ සිදුවී ඇති අතර ඒ සම්බන්ධ ඇති ලිපි ලේඛනවල ඒ ගැන වැඩිමනත් විස්‌තර දක්‌නට ලැබේ.


අනුෂි තිසරා කාරියවසම්

No comments:

Post a Comment