Wednesday, July 13, 2011

බෝධි සත්වයෝ , දෙවියෝ සහ අනාගතය

මෙම ලිපිය අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත්වීමෙන් වසර 2600 වසරක් සපිරෙන සම්මා සම්බුද්ධත්ව ජයන්ති වර්ෂයේ ඇසළ පොහොය නිමිති කොටගෙන අවිද්‍යාවෙන් තොර විද්‍යාවක් පතන පාඨකයන් උදෙසා ලියන ලද්දකි. ඇසළ පොහොය නිමිති කොටගෙන  මෙවැනි ලිපියක් ලිවීම සඳහා අපට ආරාධනයක් කරන ලද  ලංකාසීනිව්ස් වෙබ් අඩවි සංස්කාරකතුමා හටද ධර්ම දානයක් වන මේ පින උරුම වේවා!
බුදු දහමට අනුව සසර දුකින් මිදී නිවන් දැකීම උදෙසා භාවිත කරන වාහන තුනකි. එම වාහන තුන තුන්තරා බෝධි නමින් හැඳින්වේ. සම්මා සම්බුද්ධත්වය(සම්‍යක් සම්බෝධිය), පසේ බුදුබව (ප්‍රත්‍යේක සම්බෝධිය), ශ්‍රාවක බෝධිය යනුවෙන් හැඳින්වෙන එම තුන්තරා බෝධීන් අතරින් එක් ක්‍රමයකින්ම නිර්වාණ අවබෝධය සිදු වේ. ඒ ඒ බෝධීන් උදෙසා පිරිය යුතු පාරමිතාවන් නොපුරා කිසිවකුටත් එම බෝධින් තුනෙන් එකකටවත් පැමිණිය නොහැක. එනම් නිවන් දැකීම සඳහා පාරමිතා පිරීම අනිවාර්ය කාරණයකි. පාරමිතා යනු නිවන් දැකීම අරමුණු කොටගෙන රැස්කරනු ලබන කුශලයෝ සමූහයක් වෙති. මෙම තුන්තරා බෝධීන් අතුරෙන් කිසියම් හෝ බෝධියක් උදෙසා පාරමිතා පුරන සත්පුරුෂයා, බෝධිසත්වයෙක් ලෙස හැඳින්විය හැක. එයින් සම්මා සම්බුද්ධත්වය සඳහා පාරමිතා පුරන තැනැත්තා මහා බෝධිසත්වයෝ නම් වෙති. පසේ බුදුබව සඳහා පෙරුම් පුරන තැනැත්තා ප්‍රත්‍යේක බෝධි සත්වයෝ නම් වෙති. ශ්‍රාවක බෝධිය සඳහා පාරමිතා පුරන තැනැත්තා ශ්‍රාවක බෝධි සත්වයෝ නම් වෙති. සාමාන්‍ය ව්‍යවහරයේදී බෝධිසත්වයෝ යනුවෙන් බෞද්ධ අප විසින් හඳුනු ලබන්නේ සම්මා සම්බුද්ධත්වය උදෙසා පෙරුම් පුරන මහා බෝධිසත්වයන් වහන්සේලා බවද කිව යුතුය.
සම්මා සම්බෝධිය යනු අපගේ ගෞතම බුදුරජාණන් වහන්සේ වැනි තමන් වහන්සේ විසින්ම ස්වොත්සාහයෙන් සහ ස්වාධීනව  නිර්වාණාවබෝධය කොටගෙන ඉන් අනතුරුව මිනිසුන්, දෙවියන්, බ්‍රහ්මයන් ආදී වශයෙන් වූ සෙසු සත්වයෝද සසරින් මිදවීම සඳහා ධර්ම දේශනා කරනු ලබන්නා වූ මහා බෝධිසත්ව කෙනෙක් විසින් නිරවාණ අවබෝධය කරගනු ලබන බෝධි මාර්ගයයි.
පත්‍යේක බෝධිය (පසේ බුද්ධත්වය) යනු තමන් වහන්සේ විසින්ම ස්වෝත්සහයෙන් සහ ස්වාධීනව  නිර්වාණාවබෝධය කොටගන්නා නමුත් සෙසු සත්වයන්ට ධර්ම දේශනා කොට නිර්වාණය අවබෝධකරවීමට අසමත් වන බෝධි මාර්ගයයි. පසේ බුදුරජාණන් වහන්සේලාගේ බෝධිය මෙයයි.
ශ්‍රාවක බෝධිය යනු කිසියම් සම්මා සම්බුදු රජාණන් වහන්සේ නමක්  විසින් ආරම්භ කරන ලද්දා වූ බුද්ධ ශාසනයක ශ්‍රාවකයෙක් ලෙසින් අරහත් ඵලය ලබන නිර්වාණ මාර්ගයයි. ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින ලද්දේ නම් රහතන්වහන්සේ යන නමින් සාමාන්‍යය ව්‍යවහරයේදී අප විසින් හඳුන්වනු ලැබේ.
ඒ ඒ බෝධිය සඳහා පාරමිතා පිරීමට ගතවන අවම කාලයන් ගැන විස්තරයක් බෞද්ධ පොත පතේ සඳහන් වේ. එනමුත් මෙයින් ශ්‍රාවක බෝධිය සඳහා පාරමිතා පිරිය යුතු නිශ්චිත කාලයක් නොදැක්වේ. එසේ වුවත් කිසියම් බුද්ධ ශාසනයක අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලා(උදාහරණය:- සැරියුත්, මුගලන් අග සව් දෙනම) වර්ෂ ඒකාසංඛ්‍ය(එක් අසංඛ්‍ය) කල්ප ලක්ෂයක කාලයක් පාරමිතා පිරිය යුතු බව සඳහන් වේ. එනමුත් මෙහිදී අග්‍රශාවකයන් වහන්සේලා නොවන වෙනත් රහතන්වහන්සේලා විසින් පාරමිතා පිරිය යුතු නිශ්චිත කාලයක් සඳහන්ව නැති වීමටද විශේෂ හේතුවක්ද ඇතැම් පොතක සඳහන් වී තිබේ. එනම් ශ්‍රාවක බෝධියෙන් පාරමිතා පුරන පින්වතාට සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමක් පහළ වී බුද්ධ ශාසනයක් ඇති වන තුරු සසර සැරි සැරීමට සිදු වේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ පහළ වීම සහ එම බුද්ධ ශාසනය පවතින කාලයක උපත ලැබීමට හැකි වීම හෝ නොවීම මත ශ්‍රාවක බෝධියෙන් නිවන් දකින තැනැත්තාගේ පෙරුම් පිරිය යුතු කාලය කෙටි වීමට හෝ දීර්ඝ වීමට හැක.
පසේ බුදුරජාණන්වහන්සේලා පෙරුම් පිරිය යුතු කාලය වර්ෂ දෙයාසාසංඛ්‍ය කල්ප ලක්ෂයක් බව සඳහන් වේ. පසේ බුදු රජාණන්වහන්සේලා සඳහා නිශ්චිතව පාරමිතා පිරිය යුතු කාලයක් දැක්වීමට හැකිව ඇත්තේ උන්වහන්සේලා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් පහළ වන තුරු සසර සැරිසැරීමේ අවශ්‍යතාවයක් නොමැති වන බැවිනි. එනම් පසේ බුදුරජාණන්වහන්සේලා ස්වාධීනවම නිර්වාණ අවබෝධය කරති. ශ්‍රාවක බෝධියෙන් නිර්වාණාවබෝධයට නිශ්චිත කාලයක් දක්වා නොමැත්තේ ඇතැම් විට සම්මා සම්බුද්ධ ශාසනයක් මුණගසෙන තෙක් අතිදීර්ඝ කාලයක් අවිනිශ්චිතව සසරේ සැරිසැරීමට සිදුවන අවස්ථා තිබෙන නිසා විය හැක. එනිසා නිශ්චිත කාලයක් පාරමිතා පිරීමෙන් පසේ බුදු බව ලැබීමට හැකි බැවින් ඇතැම් පින්වතුන් පසේ බුදුබව ප්‍රාර්ථනා කරනවා වන්නටද හැක. තවද ඇතැම් පින්වතුන් ස්වාධීනත්වය අපේක්ෂාකරන බැවින් සම්මා සම්බුදුකෙනෙකුට සම්බන්ධ නොවී පාරමිතා පුරා  නිවන් දැකිය හැකි බැවින් පසේ බුදු බව ප්‍රාර්ථනා කරන බවටද අපට අනුමාන කල හැකිය.
සම්මා සම්බුදුරජාණන්වහන්සේලා පෙරුම් පිරිය යුතු කාලයන් ගැනද පැහැදිලි ව සඳහන් කළ හැක. සම්මා සම්බුද්ධත්වය සඳහා පෙරුම් පුරන මහා බෝධිසත්වයන් වහන්සේලාට ප්‍රඥාව, වීර්යය , ශ්‍රද්ධාව යනුවෙන් හැඳින්වෙන බුදුබව ලැබීමට මහෝපකාරී වන ධර්මයන් තුන සමසමව පිහිටා නැත. එම ධර්මයන් සමව නොපිහිටීම නිසා මහා බෝධිසත්වවරුන්ගේ පාරමිතා සම්පාදනය කළයුතු කාලය ඊට අනුකූලව වෙනස් වේ. ඒ අනුව පෙරුම් පුරන කාලය අනුව සම්මා සම්බුදුරජාණන්වහන්සේලා ප්‍රඥාධික, වීර්්‍යාධික, ශ්‍රද්ධාධික වශයෙන් තුන් ආකාරයකට දැක්වේ.
ප්‍රඥාධික (ප්‍රඥාව අධික) බුදුරජාණන්වහන්සේ නමක් වර්ෂ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් පෙරුම් පිරිය යුතුය. අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් වර්ෂ සාර අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පෙරුම් පුරන ලද්දා වූ ප්‍රඥාධික බුදුරජාණන්වහන්සේ නමකි.
ශ්‍රද්ධාධික(ශ්‍රද්ධාව අධික) බුදුජාණන්වහන්සේ නමක් වර්ෂ අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් පෙරුම් පිරිය යුතු බව සඳහන් වේ. අපගේ ගෞතම බුදුරජාණන්වහන්සේට මුලින්ම බුදුවන බවට නියත විවරණ ලබා දුන් දීපංකර බුදුරජාණන්වහන්සේ වර්ෂ අට අසංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමිතා පුරන ලද්දා වූ ශ්‍රද්ධාධික බුදුරජාණන්වහන්සේ නමකි.
වීර්්‍යාධික(වීර්යය  අධික) බුදුරජාණන්වහන්සේ නමක් සොළොස්(දහසය) අසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් පාරමිතා පුරනු ලබති. මීළඟට බුදුබව ලැබීමට නියමිත මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ සොළොසාසංඛ්‍ය කල්ප ලක්ෂක් පෙරුම් පුරා බුද්ධත්වයට පත්වන්නා වූ වීර්්‍යාධික බුදුරජාණන්වහනසේ නමක් බව බෞද්ධ පොත පතෙහි සඳහන් වේ.
මෛත්‍රි බෝධිසත්වයන් ගැන දීර්ඝ විස්තරයක් කුරුණෑගල යුගයේ දෙවැනි පණ්ඩිත පරාක්‍රමබාහු රාජ්‍යකාලයේදී ලියැවුන “අනාගත වංශය” නම් ග්‍රන්ථයේ දැක්වේ. අනාගත වංශයට අනුව ගෞතම බුදුරජාණන්වහන්සේ විසින් සැරියුත් තෙරුණුවන්ගේ ආරාධනයක් මත මෛත්‍රී බෝධිසත්වයන්වහන්සේ පිළිබඳ විස්තරානුකූල දීර්ඝ දේශනයක් කරනු ලැබේ. එම මෛත්‍රී බෝසත් වත අනුව මෛත්‍රී බෝධිසත්වයෝ පෙර කලෙක ප්‍රභාවන්ත නම් සක්විති රජකුව සිටියදී මුහුර්ථ නම් සම්මා සම්බුදුරජාණන්වහන්සේ නමකගෙන් ප්‍රථම නියත විවරණය ලැබී ඇත. එතෙක් පටන් වර්ෂ සොළොස් අසංඛ්‍ය කල්ප ලක්ෂයක කාලයක් මහා බෝධිසත්ව පාරමිතා පුරා දැනට තුසිත දෙව් ලොව වැඩ සිටින බවද අනගත වංශයේ සඳහන් වේ.
අනාගත වංශයට අනුව මෛත්‍රි බෝධිසත්වයන්වහන්සේ බුදුබව ලබන්නේ මනුෂ්‍ය ආයුෂ 80,000ක් වන කාලයකයි. එතුමා අනාගත කාලයකදී දඹදිව පිහිටි කේතුමතී නම් නුවරක උත්පත්තිය ලබන බවද සඳහන් වේ. එතුමාගේ මෑණියන්වහන්සේ බ්‍රහ්මවතී නම් වන අතර පියාණන්වහන්සේ සුබ්‍රහ්ම නම් පුරෝහිත බ්‍රාහ්මණයෙකි.
මෛත්‍රි බෝධිසත්වයන්සේගේ මෙරට විසූ ප්‍රකට රජ පවුලකට ඇති සම්බන්ධය දැක්වෙන ගාථා පාඨයක් පාලි මහාවංශයේ දැක්වේ. එම මහාවංශ ගාථා පාඨය අනුව ගැමුණු රජතුමා මෛත්‍රි බුදුරජාණන්වහන්සේගේ බුද්ධ ශාසනයේ දකුණත් සව් වන්නේය. තවද ගැමුණු රජතුමාගේ බාල සහෝදරයා වූද එතුමාගෙන් පසුව රජකමට පත් වූ සද්ධාතිස්ස රජතුමා ආනාගතයේදී මෛත්‍රි බුද්ධ ශාසනයේ වමත් සව් තනතුර ලබන බවද සඳහන් වේ. ගැමුණු සහ සද්ධාතිස්ස රජවරුන්ගේ මව් වූ විහාර මහා දේවියත් පියා වූ කාවන්තිස්ස රජතුමාත් මෛත්‍රි බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වන ආත්ම භවයේ උන්වහන්සේගේ මව සහ පියා වන බවද එහි සඳහන් වේ. තවද ගැමුණු රජුගේ පුත් සාලිය කුමාරයා මෛත්‍රී බෝධිසත්වයන්ගේ බුදුබව ලබන ආත්ම භවයේ එතුමාගේ ප්‍රත්‍රයා වන්නේය යනුවෙන් පාලි මහවංශ පාඨයේ වැඩිදුරටත් සඳහන් වේ. පාලි මහාවංශයේ අන්තර්ගත මෙම පාඨයට එකඟ නොවන සහ ඒ ගැන මෙකල ගවේෂණයක යෙදෙන මූකලන්ගමුවේ පඤ්ඤාන්ද හිමියන් සහ මානෑවේ විමලරත්න හිමියන්ට අනුව නම් පාලියට පරිවර්තනය කිරීමට පෙර තිබු සිංහල මහවංශයට ලියන ලද්දා වූ අටුවාවක සඳහන් වන පරිදි පරිවර්තනයේදී මෙම පාලි පාඨය අන්තර්ගත කිරීමට එකල විසූ ඇතැම් භික්ෂූන්වහන්සේලා එකඟතාවය පලකොට නොමැත. තවද මූකලන්ගමුවේ පඤ්ඤාන්ද සහ මානෑවේ විමලරත්න හිමිවරුන් විසින් දැනට කරගෙන යන ගවේෂණයට අනුකූලව පසුගියදා එලි දක්වුන ග්‍රන්ථයක සඳහන් වන්නේ ගැමුණු රජතුමා මෛත්‍රී බෝධිසත්වයන් බවට සිතිය හැකි කරුණු කාරණා හමු වී ඇති බවයි. ඉදිරි කාලයේදී මෙවා අතරින් කුමන වූ මතයක් තහවුරු වුවද මෛත්‍රී බෝසතාණන්වහන්සේට ලංකා ද්වීපයට පැහැදිලි සම්බන්ධයක් තිබෙන බව නම් කිව හැක. තවද මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ බුද්ධත්වයට පත්වීමේදී පිටදෙන බෝධි වෘක්ෂය නා ගස බවද අනාගත වංශයේ සඳහන් වේ. මෙකල ශ්‍රී ලංකාවේ ජාතික වෘක්ෂය වන්නේද නා ගසයි. මෙය හුදු අහම්බයකින් සිදු වූවක් නම් නොවන බව අපගේ අදහසයි.
මෛත්‍රී බෝධිසත්වයන් වහන්සේ යනු නාථ නම් දෙවියන්ම බවටද මෙරට ජනයා අතර ප්‍රකට අදහසක් පවතී. එනමුත් ඇතැම් පොත පතක සඳහන් වන්නේ නාථ දෙවියන් අවලෝකිතේෂ්වර නම් වූ මතු බුදුවන වෙනත් බෝධිසත්වයන් වහන්සේ නමක් බවයි. ඒ කෙසේ වුවත් අපගේ අදහස නම් ශක්‍ර දෙවියන්ද ඇතුළුව බොහොමයක් දෙවි වරුන්ගේ තනතුරු සෑම කලකම එකම පුද්ගලයෙක්(දෙවියෙක්) විසින්ම හොබවන්නේ නොමැති බවයි. බෞද්ධ ක්‍රමයට අනුව සදෙව් ලොවටම අධිපති වන ශක්‍ර දේව යනු දෙව් ලොව ප්‍රධාන තනතුරයි. එය තනතුරක් බැවින් කාලයෙන් කාලයට ශක්‍ර දේව තනතුර හොබවන්නාද වෙනස් වේ. ගෞතම බුදුරජාණන්වහන්සේද පෙර කලක බෝධිසත්වයෙක් ලෙස පාරමිතා පුරද්දී ශක්‍ර දෙවියන් බවට ආත්ම භාවයන් ලබා ඇත. උන්වහන්සේ එක් අවස්ථාවකදී ශක්‍ර දේවෙන්ද්‍රව සිටිදී නියත විවරණ පවා ලබා ගෙන ඇත. මේ නිසා ශක්‍ර දේව තනතුර අයුරින්ම, නාථ දේව තනතුරද පෙර කලෙක අවලෝකිතේෂ්වර බෝධිසත්වයන් විසින් හොබවන ලදුව මෙකලදී එම තනතුර මෛත්‍රි බෝධිසත්වයන්වහන්සේ විසින් හොබවනවා වීමටද ඉඩ ඇත. තවද මෛත්‍රී බෝධිසත්වයන්වහන්සේ තුසිත දෙව්ලොව වැඩ වාසය කරන බව සීහලවත්ථුව නම් බණ කතා අඩංගු ග්‍රන්ථයක ඇති මෛත්‍රී බෝසත් කතාවකද සඳහන් වේ.
මෛත්‍රි බෝසත් පුවත ගැන විස්තර දැක්වෙන ආනාගත වංශයේ මෙලොව අනාගතය ගැන, අනාගතයේදී පහලවන මෛත්‍රී බෝධිසත්වයන් සම්බන්ධ කර ගනිමින් විස්තර කෙරී ඇත. අනාගත වංශයට අනුව මෙලොව දැනට පවතින මනුෂ්‍ය ආයුෂය ක්‍රමයෙන් පිරිහීමට ලක් වේ. ඒත් සමඟම මිනිසුන්ගේ ගුණ යහපත් කම් ද අනුක්‍රමයෙන් පිරිහෙන අතර මිනිසුන් අතර ගැටුම්ද බහුල වේ. මෙසේ සාමාන්‍ය මනුෂ්‍යයකුගේ පරමායුෂය අවුරුදු දහයක කාලයක් දක්වා ක්‍රමයෙන් අඩු වේ. එකලදී ජීවිත කාලය ඉතාමත් කෙටි නිසා ආත්මාර්ථකාමී, තණ්හාව අධික, වහා කිපෙන සහ කලබලකාරී මිනිසුන් සිටින සමාජයක් ඇති වේ. අනාගතයේදී මෙම පරමායුෂය අවුරුදු දහය වන කාලයේදී මිනිසුන් අතර එකිනෙකා මරාගැනීමෙන් විශාල ගැටුමක් ඇති වේ. එම ගැටුම එක් දිනයක උපරිමයට පත් වන ලදුව මහා පරිමාණ මනුෂ්‍ය ඝාතනයක් සිදු වෙන බවද සඳහන් වේ. එයින් දිවිගලවා ගනු ලබන්නේ මනුෂ්‍යයන් අතරින් සුළු ප්‍රමාණයකි. එම මහා කලහය අවසානයේ ඉතිරි වන මනුෂ්‍යයන් කිහිප දෙනා පසුව එකිනෙකා මුණ ගැසී සිදු වූ විනාශය ගැන අතිශය කම්පාවට පත් වී ඉන් මත්තටවත් යහපත් ජීවිත ගත කිරීමට කතිකා කරගෙන ඒ අනුව යහපත්ව ජීවත් වීම අරඹන බව අනාගත වංශයේ සඳහන් වේ. එම යහපත් දිවි පැවැත්ම නිසා පරම්පරාවෙන් පරම්පරාවට ඔවුන්ගේ ආයුෂ අනුක්‍රමයෙන් වැඩිවේ. එම යහපත් ගතිගුණ වඩන මනුෂ්‍යයන්ගේ ආයුෂ අසංඛය දක්වා වැඩි වන බවද අනාගත වංශයේ සඳහන් වේ. අනතුරුව එම අසංඛයක් දීරඝායුෂ ඇති මිනිසුන් අතර බොරුකීම ආදී වශයෙන් අකුසල් ක්‍රියා ආරම්භ වීමෙන් නැවතත් ක්‍රමයෙන් ආයුෂ පිරීහීමකට ලක් වේ. මෙසේ ආයුෂ පිරිහීමේදී මනුෂ්‍යායුෂය වර්ෂ අසංඛයේ සිට වර්ෂ 80,000 දක්වා පිරිහෙමින් ක්‍රමයෙන් අඩු වේ. එම මනුෂ්‍ය පරමායුෂය 80,000ක් වන කාලයේදී දඹදිව කේතුමතී නම් නුවරක මෛත්‍රී බෝධිසත්වයන් උපත ලබා අනතුරුව සම්මා සම්බුද්ධත්වයට පත්වන බව අනාගත වංශයේ සඳහන් වේ.
මෛත්‍රී බුදුරජාණන්වහන්සේ මේ මහා භද්‍ර කල්පයේ පහලවන අවසාන බුදු රජාණන්වහන්සේ බවද පොත පතෙහි සඳහන් වේ. උන්වහන්සේගේ මෛත්‍රී බුද්ධ ශාසනය පරිහාණියට පත්වීමෙන් බොහෝ කාලයකට පසු වෙනත් බුදුකෙනෙකු පහල වීමට පෙර කල්ප විනාශයක් සිදු වේ. එම කල්ප විනාශයේදී ආභස්සර නම් බ්‍රහ්ම ලෝකයෙන් මෙහා පිහිටි සියලුම රූපාවචර බ්‍රහ්ම ලොකයන්, දිව්‍ය ලෝක හය, මනුෂ්‍ය ලෝකය සහ අපාය ආදි ලෝකයන් සියල්ලමද අභාවයට පත් වේ. අනතුරුව තවත් අති විශාල කාලයකට පසුව නැවතත් මනුෂ්‍ය ලෝකය ඇතුළු පෙර දී විනාශ වී ගිය ලෝක සියල්ලම ක්‍රම ක්‍රමයෙන් බිහි වේ. මෙම කල්ප විනාශයෙන් පසුව අළුතෙන් ආරම්භ වන කල්පයේ දී පහල වන්නේ එක් බුදු කෙනෙක් පමණක් බවද අනාගත වංශයේ සඳහන් වේ.
අප ජීවත් වන මෙම කල්පයේදී කකුසඳ, කෝණාගම, කාෂ්‍යප, ගෞතම යන බුදුන්වහන්සේලා සතර නම පහල වූ සේක. තවද අනාගතයේදී මේ කල්පයේදී පහල වන පස්වන බුදුරජාණන්වහන්සේ වන මෛත්‍රී බුදුහු පහල වෙති. අනාගත වංශයේ සඳහන් ආචාර්්‍යය මතයට අනුව කල්පයකදී උපරිම වශයෙන් බුදුවරුන් පස් නමක් පහල විය හැකි බව කියවේ. කල්පයකදී මධ්‍යම වශයෙන් බුදුවරුන් හතර නමක් හෝ තුන් නමක් හෝ දෙනමක් වශයෙන් පහල විය හැක. එමෙන්ම අවම වශයෙන් කල්පයකදී එක් බුදුරජාණන්වහන්සේ නමක් වත් පහල වන බවද අනාගත වංශයේ සඳහන් වේ. අප ජීවත් වන මෙම කල්පයේදී උපරිමය වන බුදුවරුන් පස්නමක් පහලවන කල්පයක් බැවින් මෙය භද්‍රකල්පයක් ලෙසින් එහිදී හැඳින්වේ.
බුදුදහමට අනුව කල්ප විනාශයක් ඇතිවන්නේ ඈත අනාගතයේදී මෛත්‍රි බුදුරජාණන්වහන්සේ පහල වීමෙනුත් බොහෝ කාලකට පසුව බැවින් සිංහල බෞද්ධ අපට නම් ක්‍රිස්තු වර්ෂ 2012දී සිදුවන ලෝක විනාශයක් ගැන අළුතින් ඇති වී තිබෙන මතවාදයන් පිළිගත නොහැක. කෙසේ නමුත් 2012දී සිදුවනවා යැයි කියනු ලබන ලෝක විනාශය බටහිර රටවල ආධිපත්‍යයේ කඩා වැටීම වැනි වූ ඔවුන්ටම පමණක් ආවේණික වන්නා වූ, අපට අහිතකර පලපෑම් ඇති නොකරන්නා වූද ව්‍යසනයක් වීමට බොහෝ දුරට ඉඩ කඩ ඇත. තවද මෙරට වැසියන් යහපත් කල් ක්‍රියාවෙන් සිටින තාක් කල් එම ශීලයේ කුසල බලය අපට අනාගතයේ එලඹීමට ඉඩ ඇති ව්‍යසන වලින් මිදීමට ආරක්ෂාවක් වන බව බෞද්ධයන් වශයෙන් අපට විශ්වාස කල හැකි කාරණයකි. මේ ලැබුවා වූ සම්මා සම්බුද්ධත්ව ජයන්තියේදීත් ඉන් ඉදිරියටත් සිල්වත්ව යහපත් කල් ක්‍රියාවෙන් ජීවත් වීමට අපි අධිෂ්ඨාන කර ගනිමු.

No comments:

Post a Comment